Thursday, November 6, 2014

ගබඩාවේ ‍දොර අරින රහස් අංකය භූත බලවේගයක් සේපාලට දීලා

Unknown     8:08 PM     0


අපේ පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍ය ලෝකය පිළිබඳ හරි හැටි නොදන්නා මිනිස්සු ඒ නොපෙනෙන ලෝකයේ ක්‍රියාකාරකම් නොතකා හරිති. සමහරු සුළුකොට තකති. තවත් කෙනෙක් විශ්වාස නොකරති. පූර්වයෙහි කරන ලද අකුසල විපාක හේතු කොට ගෙන දුගතිගාමීව ඉපදී ඉතාම අන්ත අසරණව දුක් විඳින ප්‍රේතයන් බොහෝය. ඒ අතරම යම් යම් විශේෂිත හැකියාවන් ඇති අමනුෂ්‍යයෝද සිටිති.

සේපාල, කන්ද උඩරට පදිංචි හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු පියෙකි. විශාල ධනවතෙකි. හිටි හැටියේ ශරීරයේ ගැස්සීම, යම් යම් ස්ථාන හිරිවැටීම, කෑම අරුචිය, හීනෙන් බය වීම ආදී රෝගාබාධවලින් හේ පීඩා විඳී.

මේ සියල්ලටම වඩා ඔහු අවංකවම පාපෝච්චාරණය කරන, අද්භූත බලයක්ද ඔහු තුළින් ක්‍රියාත්මක වෙයි. වර්තමාන සමාජයේ වෙනත් කෙනකු ප්‍රතික්‍ෂේප නොකරන එහෙත් සේපාල ප්‍රතික්‍ෂේප කරන ඒ අද්භූත බලය පුදුම සහගතය. මිථ්‍යා දෘෂ්ටියෙන් හා අසීමිත තණ්හාවෙන් පෙළෙන වර්තමාන සමාජයේ බොහෝ දෙනකු මේ කතාව නොපිළිගන්නවාටද සැකයක් නැත.

සේපාල විදේශගතව කාලයක් රැකියාවේ යෙදුණි. ඔහු රැකියාව කළේ විශාල ව්‍යාපාරයක ගබඩාවකය. ඒ විශාල ගබඩාවේ ‍ෙදාර ඇරීම හා වැසීම සිදු කළේ නව තාක්‍ෂණයට අනුව රහස් අංක කරකැවීමෙන් ඇරෙන වැහෙන අගුලකිනි. ඒ රහස් දැන සිටියේ අයිතිකරු පමණි. ‍ෙදාර ඇරීමත් වැසීමත් සිදු කළේ අයිතිකරුමය. එහෙත් සේපාල මේ ගබඩාවේ රැකියාවට පැමිණ ටික දිනකින් මෙහි රහස් අංක මේවා යැයි සේපාල ගේ සිතට ගුප්තමය පණිවුඩයක් ලැබිණි. ඔහු එය දිනක් අත්හදා බැලුවේය. හරියට හරිය. සේපාල මේ ක්‍රමයෙන් ඒ ගබඩාවේ බඩු හොරෙන් පිටකර විශාල මුදලක් ඉපැයුවේය. සේපාල කොතැනකට ගියත් එතැනින් යමක් වංචා කරන්නට ඔහුගේ සිත පෙලැඹුවේය. ඒ කිසිම වංචාවක් කිසිවකුට අහුවුණේ ද නැත. සේපාල ගබඩාවේ රැකියාවෙන් ඉවත්ව වෙනත් වෙළෙඳ ව්‍යාපාරයක මුදල් අයකැමි තනතුරකට ගියේය. එතැනදී මුදල් මැෂිමේ ක්‍රියාකාරීත්වය ආපසු කරකවන්නට පුදුම හැකියාවක් ඔහුට ලැබිණි. ඔහු එයින්ද විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත්තේය. මේ මුදල් වංචාවද කිසිවකුට දැනගන්නට නොහැකි විය.

කෝටි ගණනක් මුදල් උපයාගත් ඔහු ආපසු ලංකාවට ආවේය. ඔහු මැණික් මිලට ගෙන ප්‍රධාන මැණික් ව්‍යාපාරිකයන්ට විකිණීමට පටන් ගත්තේය. සේපාල රුපියල් දහස් ගණනකට මිලට ගත්ත මැණික් ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයන් ලක්‍ෂ ගණනට මිලදී ගත්තේය. මේ අතර සේපාල ලීසිං සමාගම් හරහා අලුත් වාහන මිලට ගත්තේය. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළේ ව්‍යාජ ලිපි ලේඛනය. කිසි අපහසුවක් නැතුව එසේ අර ගත් අලුත්ම වාහන කෑලි ගලවා විකුණා දැම්මේය. ලීසිං සමාගම්වලින් ඔහු පසුපස්සේ ආවේ නැත. ඔහු ගත් ණය ගෙව්වේද නැත. මේ අතර සේපාලගේ මේ ගුප්ත හැකියාව දැනගත් ඔහුගේ මිතුරෝද ඔහුට සම්බන්ධව මුදල් උපයන්නටත් පටන් ගත්හ.

තමන් කරන්නේ බරපතළ වරදක් බව සේපාලට දැනෙන්නට විය. මේ අතර ශාරීරික රෝගාබාධ පිළිබඳව ද ඔහු කල්පනා කරන්නට විය. මෙසේ අසාධාරණ ආදායම් මාර්ගවලට වඩා සාධාරණව තම ශ්‍රමයෙන් රැකියාවක් කොට ජීවත්වීම හොඳ බව ඔහුට වැටහෙන්නට විය.

ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවේ ශාරීරික රෝගාබාධවලට මෙන්ම "වංචනික හැකියාවෙන්" මිදී යහපත් සාධාරණ තත්ත්වයකට පත්ව මානසික සහනයක් අපේක්‍ෂාවෙනි. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරිපිට සියල්ල නොවළහා විස්තර කළේය.

"මහත්මයා මට අවශ්‍ය සාධාරණව ජීවත් වෙන්න. මගේ ශ්‍රමයෙන් රැකියාවක් කර පවුලේ අය සමඟ ජීවත් වෙන්න. මේ අසාමාන්‍ය හැකියාවෙන් මිදෙන්න. මම හිතන්නේ මේ සංසාරික හැකියාවක් වෙන්න ඇති. ඒකට උපදෙසක් ගන්නයි ආවේ" සේපාල කීවේය.

සේපාල ගවේෂණයට ලක්කොට ඔහු වෙත ශක්ති කිරණ එල්ල කරන විට සිහිසුන්ව වැටුණේය. ඒ නිසා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.

සති තුනකට පසු සේපාල නැවැත පැමිණියේය. එදින ඔහු ප්‍රලය විය.

අවේෂ්ට වූ ප්‍රේත ජීවියා සිනාසෙන්නට විය. නොනවත්වා සිනාසෙන්නට විය. වේවැල් පහර තුනක් ලැබෙන තුරුම සිනාව නතර කළේ නැත.

"කවුද මේ හිනාවෙන්නේ?" නාගොඩ විතාන මහතා ප්‍රශ්න කළේය.

"මම මේ පුතාගෙ තාත්තා"

"මොකක්ද නම?"

"ඇයි මට ගහන්නේ?"

"හයියෙන් ගැහුවෙ නැහැනෙ"

"හෙමින් වුණත් අපේ සියුම් ශරීරවලට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ."

"එහෙම නම් අපි ඇත්ත කතා කරමු"

"හොඳයි මොනවද දැන ගන්න ඕනෑ"

"ඇයි මේ පුතාට කරදර කරන්නේ?"

"ඒක පුදුම කතාවක් නෙ. මම මගේ පුතාට කරදර කරන්නේ නැහැ. කරපු තරමක් කළේ උදවු. මම එයාව කෝටිපතියෙක් කළා. මගේ යුතුකමක් තමයි මම ඒ ඉටු කළේ. මහත්තයා; මම ජීවත්ව ඉන්දැද්දි කළෙත් හොඳ දේවල් නෙවෙයි. මම හොරෙක්. පුතා පුංචි කාලෙම මම මගේ බිරියවයි පුතාවයි අතහැරලා ගියා. හොරකමට අහුවෙලා හිරේ ගියා. හිරේදි අසනීපෙකින් මළා. පුතාට මගෙන් කිසිම යුතුකමක් ඉටුවුණේ නෑ කියලා මම පසුතැවෙමිනුයි හිටියේ. මළාට පස්සේ මම පුතාව හොයා ගෙන ගියා. පුතාගෙ ඇඟට රිංගලා පුතාව හොරකම්වලට පෙලැඹෙව්වා. පුතා රට යනකොට පුතත් එක්ක මමත් රට ගියා. එහේදිත් පුතාව වංචාවලට යොමු කළා. පුතාගෙ මනසට අවශ්‍ය උපදෙස් දුන්නා. ඒ එක හොරකමක්වත් අහුනොවන විදියට කටයුතු සකස් කළා."

"ඔව්! තමුන් හොරකමේ යෙදිලා හිරදුක් වින්දා මදිවට දැනුත් පුතාගෙ ඇඟට රිංගලා හොරකම් කරනවා. තමුන් පුතාට ආදරේ බව අපට පේනවා. ඒත් මේ ආදරය දක්වන්න තිබුණේ මීට කලින්. ඒ අම්මයි පුතයි තනිවෙලා අසරණ වෙලා දුක් විඳිද්දියි උදවු කරන්න තිබුණේ. මේ කරපු හොරකම් අහුවුණේ නැති වුණාට කොතැනකට හෝ කාට හෝ පාඩුවක් වෙලා තියෙනවා නම් ඒක වරදක්. පාපයක්. නමුත් මේ පුතාට ආදරේ නම් කරුණාකර පුතාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න."

"මම කළේ පුතාට උදවු කරන්න බැරිවීම ගැන වන්දි ගෙවීමක්."

"ඔව් නමුත් වන්දි ගෙව්වේ අනුන්ගේ දේපළ සම්පත්වලින්. තමුන් වන්දි ගෙවලා තියෙන්නේ තමන්ගේ දේපළවලින් නොවෙයි. අනුන්ට පාඩුවක් අලාභයක් කරලා තවත් අකුසල් රැස්කර ගෙන. දැන දැන වැරැදි කිරීම බරපතළ පාපයක්."

"මහත්තයා, ඉතින් මම දැන් මොනවාද කරන්න ඕනෑ.?"

"දැන් මේ පුතාව වරදට යොමු කළා මදිවට එයාගෙ ශරීරයත් ලෙඩ වෙලා. ඔය තමුන්ගේ හිතේ තියෙන සොරකම් කිරීමට ඇති කැමැත්ත හිතෙන් අතහරින්න. ඒක වරදක් පාපයක් බව හිතන්න. ඒ පාපය නිසා දැන් තමුන් ප්‍රේතයෙක් වී ඉපදිලා දුක් විඳිනවා. දැන් පුතාගෙ ශරීරයෙන් ඉවත් වී හිතට පින් දැනෙන පින් දහම් කරන තැනකට ගිහින් ඒවා දැකලා සතුටු වෙලා කුසල් සිතිවිලි ගොඩනඟා ගන්න උත්සාහ කරන්න."

"මහත්තයා මට පින දැනෙන්නේ නෑ. ඒ වගේ තැන් පෙනෙන්නේ නෑ. මතක් වෙන්නේ නෑ. ඉතින් කොහොමද මම ඒ වගේ තැනකට යන්නේ?"

නිවෙසට භික්‍ෂුන් වහන්සේ වඩම්මා සාංඝික දානයක් පිරිනමා පියාට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසද ඉන් පසු අනුරාධපුරයට ගොස් සිල්වතුන්ට ආහාර හා ඇඳුම් පරිත්‍යාගයක් කොට පියාට පින් අනුමෝදන් කරන ලෙසද සේපාලට උපදෙස් දුන්නේය. ඒ පින්කම් දැක සතුටුව පින් අනුමෝදන් වී ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යන ලෙස ප්‍රේත ජීවියාට නියම කොට ආධ්‍යාත්මික ශක්තියෙන් අනුරාධපුරයට භාර කළේය.


0 comments:

E-mail Newsletter

Sign up now to receive updates from us.

Popular Posts

© 2014 supiri Gossip | Distributed By Gossip Themes | Designed By Max Max