වර්තමාන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් තුළ විදේශීය ටෙලි නාට්‍යවලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. ශාන්ති, මහ ගෙදර, ප්‍රවීණා වැනි මෙගා නාට්‍ය සමග උතුරු ඉන්දියාවෙන් පැමිණි ටෙලි නාට්‍ය සේම දකුණු කොරියානු මෙගා නාට්‍ය මේ දිනවල තව තවත් ප්‍රේක්ෂකයන්ට සමීප වෙමින් පවතී. “බෝයිස් ඕවර් ෆ්ලවර්ස්” යනු ජිඔන් කි සැංග් අධ්‍යක්ෂණයෙන් යුතු අලුතින්ම ලංකාවට පැමිණි නව පරපුරේ මෙගා නාට්‍යයකි
එය සුප්‍රසිද්ධ ජපන් ටෙලි නාට්‍යයක් පාදක කරගෙන නිර්මාණය කර තිබේ. ධනවත් දෙමාපියන්ගේ දරුවන් පමණක් සිටින නගරයේ ඇති උසස්ම යැයි සැලකෙන පාසලක ඉගෙන ගන්නා තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියක වටා ගෙතී ඇති මෙම නාට්‍යය හාස්‍යය, ත්‍රාසය සහ ආදරය එකට මුසු වූ නාට්‍යයක් ලෙස මෙය හැඳින්විය හැකිය
එහි ප්‍රධාන චරිතයක් වන ගියම් ජෑන් ඩි නම් තරුණියගේ චරිතයට පණ පොවන කු හයි සුන් වෘත්තීය කලාකාරිනියකි. නිරූපණ ශිල්පිනියක, ගායිකාවක, ගීත රචිකාවියක, ලේඛිකාවක සහ අධ්‍යක්ෂවරියක වන ඇය තවමත් අවිවාහක තරුණියකි.
1984 වසරේ නොවැම්බර් නව වැනි දින දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේ උපත ලැබූ ඇය දඟකාර නිදහස් තරුණියක් ලෙස ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වී සිටී. ඕනෑම කෙනකුගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ගැන ඇය දක්වන්නේ දැඩි විරෝධතාවකි. ඒ නිසාම සිය පෞද්ගලික තොරතුරු කිසි විටෙකත් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය නොකරන්නට ඇය වගබලාගෙන සිටී. මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති නාට්‍ය සහ සිනමා පට ගණන විස්සක් පමණ වේ
වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන්නට සිහින මැවූ ලී මිං හො, බෝයිස් ඕවර් ෆ්ලවර්ස් නාට්‍යයේ ජනප්‍රියම චරිතය වන ගු ජුන් පියෝගේ චරිතයට දායක වී සිටී. 1987 වසරේ ජුනි මස විසි දෙවන දා සෝල් නගරයේදී උපත ලද ලී මිං, සිය පාසල නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස වසර කීපයක්ම පාපන්දු ක්‍රීඩා කළේය. නමුත් පස්වැනි පන්තියේ සිටියදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහු පාපන්දු ක්‍රීඩාව තාවකාලිකව නතර කරන ලදී
එසේ වුවද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ළඟම මිතුරකු මෙන්ම රසිකයෙක්ද වේ. පාසලේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියදී රංගනයට සහ නිරූපණ ශිල්පයට යොමු වූ ඔහු ඉන්පසු පාපන්දු ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අමතක කර පූර්ණකාලීනව රංගනයේ නිතර වන්නට පටන් ගත්තේය. මේ වනවිට ඔහුගේ ප්‍රසිද්ධිය කෙතරම් ද යත්, පසුගිය වසරේ ෂැංහයි නගරයේ පිහිටි මැඩම් ටුසේඩ් කෞතුකාගාරයේ ඔහුගේ ඉටි පිළිරුවක් නිරාවරණය කරන්නට තීරණය කර තිබිණි
1986 වසරේ ජුනි මස හය වනදා සෝල් නගරයේ උපත ලද කිම් හයිං ජූං රංගනයට අමතරව දක්ෂ වාද්‍ය ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටී. බේස් ගිටාරය, වයලීනය සහ ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ පාසල් අධ්‍යාපනය නිම වන්නටත් පෙරදීය
2006 වසරේදී පාසලෙන් සමුගත් ඔහු උසස් අධ්‍යාපනය සඳහා ගායන සහ වාදන ක්ෂේත්‍රය තෝරා ගැනීමත් සමග ගායකයකු ලෙසද ජනප්‍රිය වන්නට ඔහුට අවස්ථාව ලැබිණි. “බෝයිස් ඕවර් ෆ්ලවර්ස්” නාට්‍යයේ යූන් ජි හූ චරිතයට අමතරව ඔහු විසින් රඟපා ඇති නාට්‍ය චරිත ගණන තිස් පහ ඉක්මවයි. 2012 වසරේ පැවැත්වුණු 13 වන ආසියානු සංගීත සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම තරුණ සෝලේ ශිල්පියාට හිමි සම්මානය ලබා ගත්තේ ජූං විසිනි.
බෝයිස් ඕවර් ෆ්ලවර්ස් නාට්‍යයේ සො යි ජුංගේ චරිත නිරූපණය කරන කිම් බුම්, ඉයන් කිම්, කිමු බූමු යන සුරතල් නම්වලින් ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වී සිටී. ඔහු වෘත්තියෙන් රංගන ශිල්පියකු වන අතර ගායකයකු සහ නිරූපණ ශිල්පියෙකු ලෙසද නමක් දිනා ගෙන සිටින්නෙකි
1989 වසරේ ජූලි මස හත් වනදා දකුණු කොරියාවේ සෝල් නගරයේ උපන් බුම්ගේ දෙමාපියන් ද රංගන ශිල්පී යුවළකි. සම්මාන උළෙල පහළොවකදී හොඳම නළුවා සහ ජනප්‍රියම නළුවා සඳහා වන සම්මාන සඳහා නිර්දේශ වූ ඔහු තුන් වතාවක් ජනප්‍රිය නළුවා සම්මානය ලබා ගත්තේ ඔහු රඟපෑ ඩී්‍රම්, බෝයිස් ඕවර් ෆ්ලවර්ස් සහ ඊස්ට් ඔෆ් ඊඩ්න් යන නාට්‍ය සඳහාය
1985 වසරේ පෙබරවාරි තුන් වන දින ගියොංගි නගරයේ උපන් කිම් හුයැං ජූන් මෙම නාට්‍යයේ සොංග් වූ බින්ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණේ
පාසල් අධ්‍යාපනය නිම කිරීමත් සමග ගායන ක්ෂේත්‍රයට යොමු වූ ඔහු 2007 වසරේ බ්ලූමිං නම් වූ සිය පළමු ගීත ඇල්බමය නිකුත් කළේය. මේ වන විට ගීත ඇල්බම හතක් එළි දක්වා ඇති ජූන් ක්‍රමයෙන් නිරූපණ ශිල්පියෙකු ලෙසද, රංගන ශිල්පියෙකු ලෙසද ක්ෂේත්‍රයේ කාර්යබහුල පුද්ගලයෙකු බවට පත්විය. ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කුසලාන, තානාපති කුසලාන ඇතුළු සම්මාන හතක් මේ වනවිට ඔහු දිනා ගෙන සිටී.
“බෝයිස් ඕවර් ෆ්ලවර්ස්” නාට්‍යය නිසා රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් මෙම තරුණයන් සිව් දෙනාත් තරුණියත් පසුගිය වසරේ අග භාගයේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පුණ්‍යායතනයක් පිහිටුවා එමගින් කොරියානු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට පියවර ගැනීම අතිශයින් පැසසිය යුතු කාරණයක් වෙයි.
දුලංජලී මුතුවාඩිගේ

0 comments: